ගාල්ල දිස්ත්‍රික්යේ පළාත් පාලන ආයතන 7 ක කසල කළමනාකරණය කිරීම සඳහා රජ්ගම, මොන්රෝවියාවත්ත ඝන අපද්‍රව්‍ය කළමනාකරණ මධ්‍යස්ථානය 2012 වසරේදී ආරම්භ කර ඇත. මෙම මධ්‍යස්ථානය මධ්‍යම පරිසර අධිකාරියේ ජාතික පිළිසරු ව්‍යාපෘතියේ ප්‍රතිපාදන හා දකුණු පළාත් සභාවේ ප්‍රතිපාදන මත ඉදිකිරීම් කර ඇති අතර ආරම්භයේදී පළාත් පාලන ආයතන 7ක් , මධ්‍යම පරිසර අධිකාරිය සහ දකුණු පළාත් සභාව වෙනුවෙන් පලාත් පාලන දෙපාර්තමේන්තුව එක්ව ගිවිසුම්ගතවී ඇත. ගිවිසුමට අනුව මෙම මධ්‍යස්ථානයේ පරිපාලනය දකුණු පළාත්, පළාත් පාලන දෙපාර්තමේන්තුවට පැවරී තිබේ.

මෙම ඝන අපද්‍රව්‍ය කළමනාකරණ මධ්‍යස්ථානය වෙත කසල රැගෙන එනු ලබන පළාත් පාලන ආයතන 7 ක් ආරම්භයේදී පැවතියද මේ වන විට පළාත් පාලන ආයතන 5 ක කසල රැගෙන විත් කළමනාකරණය කරනු ලබයි.

මොන්රෝවියාවත්ත ඝන අපද්‍රව්‍ය කළමනාකරණ මධ්‍යස්ථානයට කසල ලබා දෙන පළාත් පාලන ආයතන

  • ගාල්ල මහා නගර සභාව
  • හික්කඩුව නගර සභාව
  • රජ්ගම ප්‍රාදේශීය සභාව
  • බොපේ පොද්දල ප්‍රාදේශීය සභාව
  • බලපිටිය ප්‍රාදේශීය සභාව

ඉහත සඳහන් පළාත් පාලන ආයතන වලින් මොන්රෝවියාවත්ත ඝන අපද්‍රව්‍ය කළමනාකරණ මධ්‍යස්ථානයට කසල භාර ගැනීමේදී දිරණ හා නොදිරණ වශයෙන් කසල වෙන් කර භාරගනු ලැබේ. එසේ බාරගනු ලබන දිරන කසල කාබනික පොහොර නිෂ්පාදන අංගනයට යොමු කරන අතර නොදිරණ කසල තාවකාලික සනීපාරක්ෂක කසල රඳවනය වෙත යොමු කරයි.

දකුණු පළාත්, පළාත් පාලන දෙපාර්තමේන්තුව විසින් මෙම මධ්‍යස්ථානයේ පරිපාලනය සිදු කිරීමේදී දෙපාර්තමේන්තු නිලධාරීන්ගේ අධික්ෂණය යටතේ පහත සඳහන් සේවක කාර්යය මණ්ඩලයක් සේවය සඳහා යොදවා ඇත.

අනු අංකය තනතුර සංඛ්‍යාව
1 මධ්‍යස්ථාන භාරකරු 01
2 වැඩ පරිපාලක 01
3 ආරක්ෂක නියාමක 03
4 ස්ථිර සේවක 10
5 කොන්ත්‍රාත් සේවක 11
6 දෛනික සේවක 20
  එකතුව 46

දිනකට කසල මෙට්ට්‍රික් ටොන් 40 ක් කළමනාකරණය කිරීමේ ධාරිතාවයකින් යුතුව මෙම මධ්‍යස්ථානය තුලදී දිරණ කසල වලින් කාබනික පොහොර නිෂ්පාදනය කරනු ලබන අතර කාබනික පොහොර කිලෝ ග්‍රෑම් 1 ක් රු 10.00 ක මුදලකට අලෙවි කරනු ලබයි. කාබනික පොහොර කි.ග්‍රෑ. 1000 ට වැඩි ප්‍රමාණයක් මිළ දී ගන්නා විට දී රු.8.00 ක සහනදායි මුදලකට පළාත් පාලන කොමසාරිස්වරයාගේ අනුමැතිය යටතේ පොහොර නිකුත් කිරීමට ද කටයුතු යොදා ඇත. මීට අමතරව පාසල්, පළාත් පාලන ආයතන, රජයේ ආයතන, ප්‍රාදේශීය ලේකම් කාර්යාල, ශ්‍රි ලංකා පොලිසිය, ත්‍රිවිධ හමුදාව, ඇතුළු රජයේ විශේෂ ව්‍යාපෘති සඳහා නොමිලේ කාබනික පොහොර ලබා දීම ද විශේෂ අනුමැතිය යටතේ සිදු කරනු ලබයි.