පළාත් පාලනයේ විකාශය සංස්ථාපනය
පළාත් පාලන රටක ජනතාවට සමීපතම පාලන ක්‍රමයයි.එය ප්රදේශබඳව ක්‍රියාත්මක වන අතර, ඒවාහි බල ප්‍රදේශ නිශ්චිතව වෙන් කරනු ලැබ ඇත.ඒ එක් එක් ප්‍රදේශයට වෙන වෙනම පළාත් පාලන ආයතනයක් බැගින් ස්ථාපනය කොට ඇත. බොහෝ විට එම ආයතන නාගරික හා ග්‍රාමිය වශයෙන් වෙන්කොට හදුනාගත හැකිය. මෙම ආයතන පාලනය කරනු ලබන්නේ එක් එක් බල ප්‍රදේශයක් සඳහා එහි ජනතාව විසින් තෝරාපත් කරගනු ලබන නියෝජිතයන්ගෙන් සැදි නෛතිකව බලගැන්වු සභාවක්(council) මඟිනි.
පළාත් පාලන ආයතනවලට පැවරී ඇති විෂය පථය හා කාර්යභාරයේ ව්‍යාප්තිය හා ස්වාධීනත්වයේ ප්‍රමාණය රටින් රට වෙනස් වේ. සෑම රටකම පළාත් පාලන ආකෘතියේ ස්වභාවය සාධක කීපයක් මත තීරණය වී ඇත. කිසියම් දේශයක ඓතිහාසික සම්ප්රදාය,එහි ජනතාවගේ සවිඥාණකත්වය හා සියල්ලටමත් වඩා පළාත් පාලන සංකල්පය කෙරෙහි එරට දේශපාලන හා පරිපාලන ප්‍රභූ පැලැන්තිය තුල ඇති ආකල්ප මීට ඉවහල් වේ.
පළාත් පාලනය බෙහෙවින් දියුණු මට්ටමක පවත්නා බටහිර ලෝකයේ බොහෝ රටවල් විසින් පළාත් පාලන ආයතන වෙත ප්‍රදේශයේ ප්‍රජාවට සේවා සැපයෙන පරිදි පොලිස් සේවාව, අධ්‍යාපනය, සමාජ සේවා, ගමනාගමනය, නිවාස, පරිසර කළමනාකරණය ආදී පුළුල් සේවා රැසක් පවරනු ලැබ ඇත.මහා බ්‍රිතාන්‍ය හා ස්කැනේඩියානු රටවල් මෙම රටවල් අතර ප්රමුඛ වේ.මෙහි ප්‍රතිවිරුද්ධ අන්තය ලෙසින් පළාත් පාලන ආයතන වෙත ප්රමුඛතවයේ ලා නොගැනෙන නිත්‍ය වශයෙන් සීමීත පරාසයක ක්‍රියාකරකම් රජයේ හෝ රාජ්‍යවල දැඩි පාලනය යටත්ව පවරනු ලැබ ඇති අවස්ථා තිබේ.
ඉහත කී ස්වරූපයන් පරිබාහිර වු වෙනස් ආකාරයකන් සංවිධානය වු ක්‍රමවේද සෙසු රටවල ක්‍රියාත්මක වේ. ලංකාවේ පළාත් පාලනයේ විකාශනය සුපරීක්ෂාකාරීව අධ්‍යයනය කරන විට අතීතයේ මෙරට පළාත් පාලන ආයතන විෂය පථය හා බලතල සම්බන්ධයෙන් පුළුල් පරාසයක කාර්යභාරයක් සහ සාපේක්ෂ වශයෙන් ඉහල මට්ටමේ ස්වාධීනත්වයක් ද භුක්ති විදින ලද බව පෙනේ. එහෙත් පසුකාලීනව ඇති වු ව්‍යවස්ථාමය වෙනස් වීම් හේතුකොට ගෙන වර්තමානයේ මෙරට පළාත් පාලනය සීමිත පරාසයක විහිදීගිය බලතල හා විෂය පථයක් සහිතව ක්‍රියාත්මක වනු දැකිය හැකිය.
කෙසේ වෙතත් කුමන දේශයක හෝ පළාත් පාලනයේ විෂය පථයට ජාතික හෝ ප්‍රාන්ත හෝ පළාත් වලට හිමි විෂයන් අයත් නොවේ. එසේම රටක ආර්ථික සංවර්ධනයට සෘජුවම බලපාන කරුණු ජාතික ආරක්ෂාව, ජාත්‍යාන්තර සබඳතා, පුද්ගල නිදහස. මානව හිමිකම්, සන්නිවේදනය ආදී කරුණු පිළිබඳ බලයක් ජාතික පාලන අධිකාරයන්ට විනා පළාත් පාලනයට අදාල නොවේ. පළාත් පාලනයේ ප්‍රධාන කාර්යය වන්නේ ශිෂ්ඨ සම්පන්න ප්රජාවකගේ ගෙදර දොර කටයුතු පහසු කරලීමයි. (Administration of domestic affairs of a civilized society) ජනතාව සිය එදිනෙදා දිවි පෙවත ගෙනයන ප්‍රදේශය පිරිසිදුව සෞඛ්‍ය සම්පන්නව හා ජීවත් වීමට සුදුසු තැනක් බවට පත් කිරිම පළාත් පාලනයට අයත්වන මූලික වගකීම වේ. ඊට ඉවහල්වන පරිදි නගර පවිත්‍රව තබා ගැනීම,නිවාස හා ගොඩනැගිලි ඉදිකිරිම් පාලනය කිරිම හා විධිමත් කිරිම. පීඩා වැලැක්වීම ක්‍රීඩා හා විනෝද පහසුකම් සැලසීම ආදිය පළාත් පාලන ආයතන වෙත පැවරී ඇති කාර්යයන් වේ.
පළාත් පාලන දෙපාර්තමේන්තුව සංස්ථාපනය
දකුණු පළාතේ පළාත් පාලන දෙපාර්තමේන්තුව සංස්ථාපනය කිරිමට අදාල ප්‍රධාන නීති මූලාශ්‍ර වනුයේ 1978 ආණ්ඩුක්ර ව්‍යවස්ථාවට සිදු කරණු ලැබූ 13 වන සංශෝධනය මගින් පළාත් සභා පිහිටුවිමයි. පළාත් පාලන විෂයට අදාලව පළාත් පාලන ආයතන වෙත අවශ්‍ය උපදෙස් දීම, සහය වීම, හා මගපෙන්වීම් සිදු කිරීම පළාත් පාලන දෙපාර්තමේන්තුවේ අපේක්ෂිත ප්‍රධාන අරමුණ වී ඇත.ඒ සදහා 1989 අංක 12 දරණ පළාත් සභා (ආනුෂංගික විධිවිධාන) පනත සමග කියවිය යුතු පළාත් පාලන ආයතන සංස්ථාපිත 252 අධිකාරිය වන 1947 අංක 29 දරණ මහා නගර සභා ආඥා පනත, 1939 අංක 61 දරණ නගර සභා ආඥා පනත සහ 1987 අංක 15 දරණ ප්‍රාදේශීය සභා පනතමගින් පළාත් පාලන දෙපාර්තමේන්තුව වෙත බලය ලැබී ඇත.
මෙම දෙපාර්තමේනතුව මඟින් අපේක්ෂිත ප්‍රධාන අරමුණු
- දකුණු පළාත් බල ප්‍රදේශය තුළ වූ පළාත් පාලන ආයතන වල කටයුතු අධීක්ෂණය කිරීම.
- පළාත් පාලන ආයතන වල කටයුතු උදෙසා උපදේශක සේවා මගින් මග පෙන්වීම.
- පළාත් පාලන ආයතනවලින් ඉටු කෙරෙන මහජන සේවාවන් මැනවින් පවත්වාගෙන යාම හා වැඩිදියුණු කිරීම හා මූල්‍යමය ආධාර සැපයීම.
දකුණු පළාත් සභා බල ප්‍රදේශය තුල ගාල්ල, මාතර හා හම්බන්තොට දිස්ත්‍රික්කයන්හි ස්ථාපිතව ඇති මහා නගර සභා 03 ක්, නගර සභා 04 ක් සහ ප්‍රාදේශීය සභා 42 තුල මානව සම්පත් සංවර්ධන කටයුතු හා හෞතික සම්පත් සංවර්ධන කටයුතු සඳහා වෙන් කරනු ලබන ප්‍රතිපාදන සඳහා සැලසුම් සකස් කිරීම, ක්‍රියාත්මක ආයතන මෙහෙයවීම, අධීක්ෂණය හා ඇගයීමත්, ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේදී අවශ්‍යවන මාර්ගෝපදේශ, තාක්ෂණික හා අනෙකුත් සේවාවන් ලබාදෙමින් පළාතේ මහජනතාවට උසස් ජීවන තත්ත්වය ලබා දීමට කටයුතු කිරීම පළාත් පාලන දෙපාර්තමේන්තුව විසින් සිදු කරනු ලබයි. 2018 වර්ෂයේදී පවත්වන ලද පළාත් පාලන ජන්ද විමසීම මගින් දකුණු පළාත් පළාත් පාලන ආයතන මගින් පුළුල් මහජන සේවාන් සැපයීම සඳහා මහජන නියෝජිතයින් 1131 ක් පත්ව ඇති අතර, එම කටයුතු සඳහා සහයෝගය ලබා දීම සඳහා හැකියාව සහිත 6373ක් පමණ වන ස්ථිර කාර්ය මණ්ඩලයක් දෛනිකව සේවයේ යෙදෙනු ලබයි.
දකුණු පළාතේ ජනතාවට වඩාත් ඉහළ ඵලදායී සේවාවක් ඉටුකිරීම සඳහාපළාත් පාලන ආයතනයන්හි සේවයේ නියුතු කාර්ය මණ්ඩලයෙහි කාර්ය සාධනය වර්ධනය කිරීම සඳහා ඔවුන්ගේ දැනුම, ආකල්ප හා කුසලතා වර්ධනය කිරීමේ වැඩසටහන් කඩිනමින් ක්‍රියාත්මක කිරීම සඳහාත්, පළාත් පාලන දෙපාර්තමේන්තුව හා පළාත් පාලන ආයතන අතර දැනුම බෙදාගැනීමේ මධ්‍යස්ථානයක් ඇති කිරීම සඳහාත්, ආසියා පදනමේ මූල්‍ය හා තාක්ෂණ අනුග්‍රහය සහිතව පළාත් පාලන දෙපාර්තමේන්තු කාර්යාලයේ පළාත් පාලන සම්පත් මධ්‍යස්ථානය හා දක්ෂිණ පාය අමාත්‍යාංශ සංකිරීර්ණයෙහි 06 වන මහළ තුල පළාත් පාලන සම්පත් පුහුණු මධ්යස්ථානයපවත්වාගෙන යනු ලබන අතර, එමගින් පළාත් පාලන ආයතන උදෙසා 2017 හා 2018 වර්ෂයන් තුල දී විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කරන ලදී.දකුණු පළාත් සභා බල ප්‍රදේශය තුළ ස්ථාපිතව ඇති මහා නගර සභා 03, නගර සභා 04 සහ ප්‍රාදේශීය සභා 42 තුළ සංවර්ධන කටයුතු සඳහා වෙන් කරනු ලබන ප්‍රතිපාදන මගින් එම කාර්යයන් ඉටු කිරීම සඳහා එම ආයතන මෙහෙයවීම, මග පෙන්වීම, උපදෙස් දීම, අධීක්ෂණ කටයුතු සිදු කිරීම හා අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන ලබාදීමත්, තාක්ෂණික සේවාවන් හා අනෙකුත් සේවාවන් ලබාදෙමින් පළාතේ මහජනතාවට ඔවුන්ගේ ජීවන තත්ත්වය වඩා යහපත් කර ගැනීමට කටයුතු කිරීම පළාත් පාලන දෙපාර්තමේන්තුවේ වගකීම වේ.